
ශ්‍රී ලංකාවේ පවතින පෞද්ගලික සෞඛ්‍ය සේවා ක්ෂේත්රය වැඩිදියුණු කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව විගණන වාර්තාවකින් හෙළි වී තිබේ. මෙම වාර්තාව අවධාරණය කරන්නේ රට තුළ සියලුම ලියාපදිංචි පෞද්ගලික රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා සාධාරණ හා දැරිය හැකි ගාස්තු ව්‍යුහයක් සහ ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවයි. පෞද්ගලික රෝහල්වල සේවා ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ප්රමිතීන් සකස් කිරීම, ඒවා නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාවය වාර්තාව මගින් පෙන්වා දෙයි. විශේෂයෙන්ම, කාර්ය මණ්ඩල බඳවා ගැනීමේදී අවම සුදුසුකම් සහතික කිරීම සහ නිසි පුහුණු ප්රමිතීන් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය ලෙස හඳුනාගෙන ඇත. මෙය රෝගීන්ට ලබා දෙන සත්කාරයේ ගුණාත්මක භාවය සහතික කිරීමේ මූලික පියවරකි. බලධාරීන් විසින් මෙම ප්රමිතීන් නීතිගත කර එම නීතිරීති ක්‍රියාත්මක වන බවට වගබලා ගත යුතු බවට යෝජනා කර ඇත. එසේම, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් බඳවා ගැනීමේදී ජාතික බඳවා ගැනීමේ නිර්ණායක අනුගමනය කිරීමට සහතික විය යුතුය. මෙමගින් සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ වෘත්තීයමය ගුණාත්මකභාවය සහ සම්මතයන් රැකගත හැකිය. පෞද්ගලික රෝහල්වලට එරෙහිව මහජනතාවගෙන් එල්ල වන පැමිණිලි කාර්යක්ෂමව සම්බන්ධ කර ගැනීම සඳහා විධිමත් පද්ධතියක් පිහිටුවීමේ අවශ්‍යතාවයද මෙම වාර්තාව තුළින් ඉල්ලා සිටියි. මෙහි අරමුණු වන්නේ පැමිණිලි සැකසීමේ ක්‍රියාවලිය පහසු කිරීම සහ රෝගීන්ගේ ගැටලු සඳහා කාලීන විසඳුම් ලබා දීමයි. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට සහ ජනතාවට කාලෝචිත සහන ලැබෙන බව සහතික කිරීමට මාර්ගගත වේදිකාවක් සකස් කිරීම යෝජනා කර ඇත. මෙම ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුවහොත්, ජනතාවට ගුණාත්මක සහ දැරිය හැකි මිලකට සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ හැකියාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කෙරේ. විශේෂඥයන්ගේ මතය වන්නේ මෙම වැඩපිළිවෙල මගින් පෞද්ගලික සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ විශ්වසනීයභාවය සහ කාර්යක්ෂමතාවය වැඩි දියුණු වන බවයි.
