
ශ්‍රී ලංකාවේ රෝහල්වලට සිදු කරනු ලබන ඇතුලත් වීම්වලින් ඉහළම ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම හදිසි අනතුරු වළක්වා ගත හැකි ඒවා බවත්, ඒවා වළක්වා ගැනීමෙන් සෞඛ්‍ය සේවාවට සහ රටේ ආර්ථිකයට සැලකිය යුතු ප්රතිලාභ ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ, "අනතුරකදී සිදුවන ලේ ගැනීම වළක්වමු" යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පාගමනක් අද (12) පෙරවරුවේදී ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අවස්ථාවේදීය. මෙම පාගමන කොළඹ පිහිටි ජාතික රෝහල් පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර, විහාරමහා දේවී උද්‍යානය හරහා ගමන් කරමින් නිදහස් චතුරස්රයේදී අවසන් විය. මෙම අවස්ථාව හදිසි අනතුරු ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද්දකි. මෙහි ප්‍රධාන අරමුණු වූයේ ප්‍රජාවගේ සහභාගීත්වය ලබා ගැනීම සහ හදිසි අනතුරු සම්බන්ධ රෝගීන්ට සේවය සපයන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දායකත්වය අගය කිරීමයි. අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ, රටක් ලෙස ආර්ථික වර්ධනය සමඟ ඉදිරියට යන විට, අනතුරු වළක්වා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග සෑම අංශයකින්ම සහ සෑම මානයකින්ම සිදු කළ යුතු බවටය. ජනතාව දැනුවත් කිරීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒකාබද්ධ කර ගනිමින් අවශ්‍ය අධ්‍යාපනික කටයුතු සිදු කිරීම තුළින්, අනතුරු අවම කිරීමට සහ හදිසි අනතුරු හේතුවෙන් රෝහල් පද්ධතිය මත ඇතිවන පීඩනය අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළේය. මෙම සමස්ථ ප්රයත්නය තුළින් සෞඛ්‍ය සේවාවේ ඵලදායිතාවය වැඩි දියුණු කිරීමත්, අනවශ්‍ය ආර්ථික පීඩනයන්ගෙන් රට ආරක්ෂා කිරීමත් අපේක්ෂිතය.
