
ප්‍රංශය දුම්පානය සම්බන්ධ නීති තවදුරටත් දැඩි කරමින් උද්‍යාන, වෙරළ, පාසල් අවට සහ බස් නැවතුම්පොළ වැනි පොදු ස්ථානවල දුම්පානය තහනම් කර ඇත. මෙම නව නීති මාලාව 2024 ජූලි 1 වන දින සිට බලාත්මක වන අතර, එමගින් දරුවන් එක්රැස් වන සියලුම ස්ථාන සහ ක්‍රීඩා භූමිවල දුම්පානය නීතිවිරෝධී කර ඇත. ප්‍රංශයේ සෞඛ්‍ය අංශයන්ගේ මැදිහත්වීම මත 2007 සිට අවන්හල්, බාර් සහ පොදු ස්ථානවල දුම්පානය තහනම් කර ඇති අතර, දුම්වැටි මත බදු දිගටම ඉහළ දමා ඇත. වර්තමානයේ ප්‍රංශයේ දුම්වැටි පැකට්ටුවක මිල යුරෝ 12ක් (රුපියල් 4,215කට වැඩි) පමණ වේ. යුරෝපයේ වැඩිම දුම්පානය කරන රටවල් අතර ප්‍රංශය ඉහළින්ම සිටින අතර, වැඩිහිටි ජනගහනයෙන් 30%කට වැඩි පිරිසක් දුම්පානය කරයි. එසේම, ප්‍රංශයේ දිනකට දුම්කොළ ආශ්රිත රෝගවලින් මරණ 200කට වැඩි අතර, වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 75,000ක් ඉක්මවයි. කෙසේ වෙතත්, ඊ-සිගරෙට් (E-Cigarettes) මෙම නව තහනමෙන් තොරව භාවිතා කිරීමට ඉඩ දී ඇත. ප්‍රංශයට අමතරව බ්‍රිතාන්‍යය සහ ස්වීඩනය වැනි රටවල් ද පොදු ස්ථානවල දුම්පානය සීමා කර ඇති අතර, ස්පාඤ්ඤය ද ආපනශාලා සහ අවන්හල්වල එළිමහන් ප්‍රදේශවල දුම්පානය තහනම් කිරීමට නීති සකසමින් සිටී. මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ දුම්පානය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු සහ මරණ සංඛ්‍යාව අවම කිරීමයි.
